Ada-Derana-1140-X-60-S 1200 add-02

අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම දක්වා අත්‍යාවශ්‍ය සේවා හැර සියලු සංචරණ තහනම් – හැඳුනුම්පතෙනුන් ගමන් බැහැ

84
11453136468821839297
add-01

සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති තෙදින තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අද රාත්‍රී 11 සිට ලබන සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සියලු සංචරණ තහනම් බවයි.

එමෙන් අදාළ කාලය තුළ දී කඩසාප්පු විවෘත කර තැබීම සම්පූර්ණයෙන් තහනම් වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කළ හැකි බව ද සඳහන්.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමටත්, ඖෂධ බෙදා හැරීමට හැකි බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ.

එමෙන්ම, අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් රාජකාරි හැඳුනුම්පත මගින් සිය සේවාස්ථාන වලට වාර්තා කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

එසේම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම රථ වාහන වැලිපැන්න පිවිසුමෙන් පිටවිය යුතු බව අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාශය පවසනවා.

ඒ අනුව, වැලිපැන්න හුවමාරුවේ ඇති පොලිස් මාර්ග බාධකය මගින් සියලුම පුද්ගලයින් පරික්ෂා කිරීමෙන් අනතුරුවයි අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් යළි අධිවේගී මාර්ගයට ඇතුළු වී ගමන් කළ හැකි වන්නේ.

එසේම, දිවයින පුරා සංචරණ සීමා පැනවුව ද අද සිට අමතර දුම්රිය 05 ක් ධාවනය සඳහා යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා.

එමගින් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා යන මගීන්ට තම අනන්‍යතාවය තහවුරු කර දුම්රියේ ගමන් කිරිමට හැකියාව ලැබෙනු ඇති.

මේ අතර, දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම නිලධාරී වසම් 11 ක් අද උදෑසන සිට හුදෙකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ පාළුගහවෙල හුදෙකලා කෙරෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම පොලිස් බල ප්‍රදේශයේ කරදුන්ගොඩ, ගොවියාපාන, කහවන්නගම සහ දොම්මන්ගොඩ මෙන්ම හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ ලණුමෝදර, බොනවිස්ටා, කටුකුරුන්ද යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලාවට ලක් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙනවක – පාතකඩ සහ දිප්පිටිගල මෙන්ම කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට ග්‍රාම නිලධාරී වසම හුදෙකලාවට ලක් කර තිබෙනවා.

මීට අමතරව දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශයද හුදෙකලාවට ලක් කර ඇති බවයි යුද හමුදාපතිවරයා නිවේදනය කළේ.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල්ල, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය මෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩස්වත්ත වසමේ ගෝනගල්ල කොටස සහ අක්කර 30 කොටස අද උදෑසන සිට හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.