Ada-Derana-1140-X-60-S 1200 add-02

අපනයන මුදල් ගෙන්වීමට නව රීති යෙදීම ගැන පහදයි

303
11453136468821839297
add-01

අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට පවතින රීතිවලට අමතරව පසුගියදා නව රීති සහ මෙහෙයුම් උපදෙස් නිකුත් කරනු ලැබුවේ, රටෙහි විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් කිරීම සහ විනිමය අනුපාතයේ අධික විචලනයන් සීමා කිරීම සඳහා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2021 පෙබරවාරි මස 18 වැනි දින මුදල් මණ්ඩලය විසින් අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට අදාළ රීති ප්‍රකාශයට පත්කළ අතර, මේ සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කරන ලදී. කෙසේ වෙතත් මෙම රීති සහ මෙහෙයුම් උපදෙස් නිසා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සිය ව්‍යාපාර දේශීය වශයෙන් පුළුල් කිරීම සම්බන්ධයෙන් අධෛර්යවත් වන බවට හා ඔවුන් විසින් නීත්‍යනුකූලව උපයාගත් මුදල් බැංකු පද්ධතිය සහ රජය මගින් අයථා ලෙස අය කරගන්නා බවට පළ වී තිබූ මාධ්‍ය වාර්තාවන්ට ප්‍රතිචාර ලෙස මහ බැංකුව මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකර තිබෙනවා.

මහ බැංකුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් දැනටමත් ඔවුන්ගේ විදේශ විනිමය ඉපැයීම්වලින් විශාල කොටසක් ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරන බවයි. එසේම මෙම අපනයනකරුවන් විසින් දේශීයව සිදුකරන ගෙවීම් සඳහා මෙසේ ප්‍රේෂණය කෙරෙන විදේශ විනිමය ඉපැයීම්වලින් සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරන බවද මහ බැංකුව කියයි. එම නිසා විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කර, එයින් 25%ක් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමේ අවශ්‍යතාව අපනයනකරුවන් වෙත විශාල බලපෑමක් ඇති නොකරන බව මහ බැංකුවේ අදහසයි.

තවද, විදේශ විනිමය ඉපැයීම්වලින් 25%ක් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමේ අවශ්‍යතාව මගින් දේශීය අගය එකතු කිරීම එම මට්ටමටවත් තවමත් ළඟාවී නොමැති අපනයන අංශවලට එසේ කිරීම සඳහා දිරිගන්වනු ලබන බවද පෙන්වා දෙන මහ බැංකුව, මෙවැනි ක්‍රියාමාර්ග අප කලාපයේ ශක්තිමත් අපනයන කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති ආර්ථිකයන් අතරද භාවිත වන බවත්, එම රටවල මේ සම්බන්ධයෙන් රෙගුලාසි විවිධාකාර දැඩි ස්වභාවයක් ගන්නා අවස්ථාවන්ද පවතින බවත් සඳහන් කළා.

තවද අපනයන මගින් උපයන ලද විදේශ මුදල්වලින් 25%ක් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙන් පසුව එම රුපියල්වල හිමිකාරීත්වය තවදුරටත් අපනයනකරු සතුවන අතර, විදේශ මුදල්වලින් ඉතිරි 75%ද අපනයනකරුවන්ගේ අභිමතය පරිදි ආනයනික යෙදවුම් මිලදී ගැනීම, විදේශ මුදල්වලින් ඉතිරි කිරීමට හෝ තවදුරටත් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට යොදාගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නා.

බලපත්‍රලාභී බැංකුවලට අපනයනකරුවන් එසේ හුවමාරු කරන විදේශ මුදල්වලින් 50%ක් (එනම් අපනයනකරුවන්ගේ සමස්ත විදේශ විනිමය ඉපැයීම්වලින් 12.5%ක්) මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවක් නියම කර ඇත්තේ, රටේ විදේශ විනිමය සංචිත, ණය නොවන මූලාශ්‍ර යොදා ක්‍රමයෙන් ඉහළ මට්ටමක ගොඩනංවා ගැනීමට යැයිද මහ බැංකුව පවසනවා.

දැනටමත් හඳුන්වා දී ඇති විවිධ පහසුකම් සහ රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිවල සහයෝගයද සමග රටේ විදේශ විනිමය උපයා දෙන අංශ ප්‍රවර්ධනය කෙරෙමින් පවතින බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එසේ විදේශ මුදල් අවශෝෂණය කිරීම තුළින් ශ්‍රී ලංකාවට විදේශ ණය මත යැපීමෙන් මිදී රටෙහිම අරමුදල් මත රඳා පැවතීමටද හැකිවනු ඇති බවද කියයි. ඒ අතරම, මෙමගින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය ශක්තිමත් වීම, විනිමය අනුපාතයේ ස්ථාවර බව වැඩිදියුණු වීම සහ ආර්ථිකයෙහි අභියෝගවලට මුහුණදීමේ හැකියාව වර්ධනය වීම සාක්ෂාත් වනු ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියා.