ක‍්‍රිප්ටො මුදල් ගැන මහ බැංකුවෙන් රතු නිවේදනයක්…
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ ඇති අවදානම
ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයකි. මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන්නේ එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදු වී ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන් වලට හසු වී ඇති බවත්ය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018, 2021 සහ 2022 වසර වලදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන හරහා ක්‍රිප්ටෝ මුදල් භාවිතය මගින් පරිශීලකයින් හට ඇතිවිය හැකි සැලකිය යුතු මූල්‍ය, මෙහෙයුම්, නෛතික සහ ආරක්ෂාව සම්බන්ධ අවදානම් මෙන්ම පාරිභෝගික ආරක්ෂණ ගැටළු පිළිබඳව දැනටමත් අවධාරණය කර ඇත. මෑත කාලයේ සිදු වූ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ විවිධ ගෝලීය ආයතනවල කඩා වැටීම් සහ ඇතැම් ක්‍රිප්ටෝ මුදල්වල ස්ථාවරත්වය අඩු වී යාමෙන් ඒවායේ වටිනාකම බෙහෙවින් අඩු වීමත් සමඟ මෙම අවදානම් සහ ගැටළු නැවතත් තහවුරු විය. එසේම, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහජනතාවට නැවතත් අවධාරණය කරයි.
තවද, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් (Legal Tender) ලෙස නොසලකන අතර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් නොමැත. තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතා කිරීමට ද අවසර නොමැත. ක්‍රිප්ටෝ මුදල් අවිධිමත් මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන බැවින් එය ජාතික ආර්ථිකයට දායකත්වයක් නොදක්වන අතර රටට වටිනා විදේශ මුදල් අහිමි වීමට ද එය හේතුවක් විය හැකිය.
ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජන කර ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන්වල සීග්‍ර වර්ධනයක් පෙනී යන බව මහජනතාව වෙත අනතුරු අඟවනු ලැබේ. ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම මගින් අධික ප්‍රතිලාභ ලබාදීමේ පොරොන්දුව ඇතිව පුද්ගලයන්ගෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීම මෙන්ම වංචනික ක්‍රිප්ටෝ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් පුද්ගලයින් රැවටීම ද මෙම වංචාවලට ඇතුළත් වේ. මෙම වංචාවන් පිළිගත් නියාමන සහ නෛතික ආරක්ෂණ යාන්ත්‍රණයන් මග හරින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මහජනතාවට සිය මහන්සියෙන් උපයාගත් වටිනා ධනය අහිමි වී ඇත.
අන්තර්ජාලය, වෙනත් මාධ්‍ය හෝ සෘජුව විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරනු ලබන කිසිදු ආකාරයක ක්‍රිප්ටෝ මුදල් යෝජනා ක්‍රමයක ආයෝජනය නොකිරීම තුලින් සිය මහන්සියෙන් උපයාගත් වටිනා ධනය ආරක්ෂා කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත මෙයින් උපදෙස් දෙනු ලබයි. ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැති අතර ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට (Initial Coin Offering) හෝ එහි කිසිදු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට (Cryptocurrency Mining Operations), ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවකට (Cryptocurrency Exchange), ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ තැන්පතු භාරගැනීම හෝ භාරකාර සේවා සැපයීමට හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවාවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවද දන්වා සිටියි.
තවද, ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධව පවතින විවිධ ආකාරයේ අවදානම් සහ එමගින් මහජනතාව හට ඇතිවන මුල්‍යමය අලාභ ඇතුලු අනෙකුත් අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින්, ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කරන සහ එසේ ප්‍රවර්ධනයට සහය දෙන පාර්ශ්වයන් වෙත එවැනි කටයුතුවලින් වළකින ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව අවධාරණය කරනු ලබයි.
– ශ්‍රී ලංකා මහ බැංකුව
රුධිර පරික්ෂාවට වැඩි මිලක් ගත් පුද්ගලික රෝහලක අධ්‍යක්ෂක මණ්ඩලයට දඩ ගහයි..
නුවරඑලිය නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක රෝගින්ගෙන් පුර්ණ රුධිර පරික්ෂාවක් සදහා වැඩි මිලක් අය කිරිමේ චෝදනාව යටතේ එම රෝහලට විරුද්ධව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (29) දින කැදවු නඩුවකට එම රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් වරද පිලිගත් නිසා එම අධ්‍යක්ෂක මණ්ඩලයට රු ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් තිළිණ එම් පිරිස් මහතා නියෝග කලහ.
නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරිය වෙත එම රෝහලෙන් පුර්ණ රුධිර පරික්ෂාවක් සිදු කරගත රෝගින් කිහිපදෙනෙකුගෙන් ලද පැමිණිලි කිහිපයක් මත තම කාර්යාලයේ නිලධාරියෙකු උපාය දුතයෙකු වශයෙන් යොදාගනිමින් (28) දින මෙම වැටලිම සිදු කල බවයි නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අමිල රත්නායක මහතා කියා සිටියේ.
පුර්ණ රුධික පරික්ෂාවක් සදහා රෝගියෙකුගෙන් රු 400 ක මුදලක් අය කර යුතුව ඇතත් , එම රුධිර පරික්ෂාව සදහා එම රෝහලේ පාලන අධිකාරිය විසින් රු 550 ක මුදලක් අය කිරිම නිසා එම රෝහලට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට පියවර ගත් බවයි අමිල රත්නායක මහතා කියා සිටියේ.
එම රෝහල වෙනුවෙන් අධිකරණය වෙත අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකු (29) දින අධිකරණය වෙත ඉදිරිපත් වු බවද නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අමිල රත්නායක මහතා පැවසිය.
නිමි තේ කිලෝවකට ලැබෙන මුදල රුපියල් 200 කින් පහළට
රුපියලේ අගය ඉහළ යාම නිසා නිමි තේ කිලෝවක් සදහා ලැබෙන මුදල රුපියල් 200 කින් පහළ බැස ඇති බව වතු අධිකාරිවරුන් පවසනවා.
පසුගිය මාස කිහිපය තුළ උඩරට තේ කිලෝවක් සදහා ලෝක වෙළදපොලෙන් රුපියල් 1250 ක මිලක් ලැබුණු බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් මේ වන විට එය රුපියල් 1050 දක්වා පහළ බැස තිබෙනවා.
ඩොලරයේ අගය තවදුරටත් පහළ ගියහොත් තේ මිල ද පහල බසින බවත්, ඒ අනුව තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බවත් වතු අධිකාරිවරුන් කියා සිටියා.
එමෙන්ම විදුලිබිල ඉහළ යාම හේතුවෙන් තේ කිලෝවක් නිෂ්පාදනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදු ඇති බැවින් තේ කිලෝවක් සදහා ලැබෙන මුදල අඩු වීම හමුවේ කර්මාන්තය දැඩි අවධානමක පවතින බවයි ඔවුන් පැවසුවේ.
චමීර නැවතත් පිටියට
ආබාධයක් හේතුවෙන් මාස පහකට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නැවතත් ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබේ.
ඔහු ඊයේ (28) පැවති නැෂනල් සුපර් ලීග් තරගයකට එක්වී තිබුණි.
ඒ නුවර කණ්ඩායම නියෝජනය කරමින් යාපනය කණ්ඩායමට එරෙහිව ය.
“මගේ කාෆ් එකේ ඉන්ජරි එක ආවේ. එතකොට මම හොඳටම පීක් එකේ හිටියේ. ඔක්තෝබර් 25 තමයි සර්ජරි එක කළේ.”
ඉදිරියේදී පැවැත්වෙන NSL තරග වලට ක්‍රීඩා කර සිය රිද්මය ට පැමිණීමට හැකිවෙතැයි ඔහු පැවසීය.
චමීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර කඩුලු 128ක් දවාගෙන තිබේ.
පොලිස් ලොක්කන් කිහිපදෙනෙක්ට හදිසියේම ස්ථාන මාරු
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු උසස් නිලධාරීන් සිව් දෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් මූලස්ථානය වෙත හා කේෂ්ත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානය වෙතද පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වයි. සෙනෙවිරත්න, පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. සි. ඒ. පුෂ්පකුමාර, පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරි එච්. එම්. සි. පි. හේරත්, ආනමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එම්. පී. ජි. එන්. ආර්. බණ්ඩාර යන මහත්වරු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයටද මාරුකර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය, ජාතික පොලිස් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාවය මත එම ස්ථාන මාරු පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතා විසින් සිදුකර ඇත.
මෙම ස්ථාන මාරු, පොලිස් කොස්තාපල්වරයෙකුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පහරදීමෙන් අනතුරුව එම නිලධාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා නවගත්තේගම පොලීසියේ කොස්තාපල්වරයෙකුව පැහැරගෙන ගොස් කනත්තක් අසල දමාගොස් සිටියදී සොයාගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ පැහැරගැනීම සිදුකළ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියට අදාළ සැකකාර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුව ආනමඩුව පොලිස් ස්ථානයට භාරවී තිබුණි.
කෙසේවෙතත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවිය.
සියලුම බස් ගාස්තු අඩු කෙරේ
හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් පසු බස් ගාස්තු අඩුකෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඒ අනුව, ඔහු පැවසුවේ අවම බස් ගාස්තුව හැර අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගන්නා බවය.
මේ අතර මීට පෙර දැනුම්දුන්නේ ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බවය.
ත්‍රීරෝද රථ ගාස්තුවත් අඩු කරයි
ඉන්ධන මිල පහල දැමීමට ප්‍රතිචාර දක්වමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
ඒ අනුව, දිවයින පුරා ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය.
එහිදී, දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවද ඔහු පැවසීය.
හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවද සුදිල් ජයරුක් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්ධන බෙදාහැරීමට බාධා කළ සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර
ඛනිජ තෙල් සේවකයින් අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් අදාළ ආයතන සභාපතිවරයා දැනුවත් කල බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා .
අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් .
ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු තවදුරටත් දැනුම්දී තිබෙනවා .
මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව එම සේවකයින් ඊයේ පස්වරුවේ සියලු රාජකාරිවලින් ඉවත් වීමටයි කටයුතු කළේ.
ඒ අනුව අද දිනයේදී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් තීරණයක් ගන්නා බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සදහන් කළා.
කෙසේ වෙතත්, විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකිරිමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.
මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ මගින් ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බවයි.
මේ හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වලට රැස් නොවන ලෙසටද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සටිනවා.
මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස කටයුතු කරන සියලූම වෘත්තීය සමිති නායකයින්ට සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණයකර තිබෙනවා.
ඒ අනුව, ඔවුන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් වන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරනවා.
අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දැනුම් දෙන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේ.