Ada-Derana-1140-X-60-S 1200 add-02

කෘෂි ඇමති ජනතා දුක සොයා බලයි…

251
11453136468821839297
add-01

මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉකුත් 28 දා ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුණේය.

එහිදී උඩුනුවර අප්පලාගොඩ තේ පැළ තවාන්කරුවන්ගේ පැළ තවාන් අධික වර්ෂාව නිසා විනාශයට පත්ව ඇති ආකාරය නිරීක්ෂණය කෙරිණ. තේ පැළ තවාන්කරුවන් 150 දෙනෙකු පමණ පදිංචි අප්පලාගොඩ ප්‍රදේශයේ ඇති ඇල මාර්ගය අධික වර්ෂාවට අබලන්ව ඇලේ ජලය පිටාර ගලන නිසා තේ පැල තවාන් විනාශ වන බව ගොවීන් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දී ඇත. ඒ අනුව ගොවිජන සංවර්ධන නිළධාරීන් සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 30කට මෙම ඇල මාර්ගය පිළිසකර කර දීම සඳහා මුදල් වෙන් කර දීමට එවලෙහි පියවර ගත්තේය.

මේ අතර නාවලපිටිය නගරයේ වැසි ජලය ක්‍රමවත් ලෙස බැහැර කිරීම සඳහා නගර මධ්‍යයේ ඇති කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. නාවලපිටිය නගරයේ වැසි ජලය බැහැර කිරීමේ මෙම නිරීක්ෂණ චාරිකාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පහත් බිම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද එක්ව සිටියහ.

කොවිඩ් වසංගත තත්වය නිසා තාවකාලිකව වැඩ නතර වී ඇති මොරගොල්ල විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී අදාළ නිලධාරීන් හමු වී අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් එක් ගමකට එක් නිවසක් වැඩපිළිවෙළ යටතේ නාවලපිටිය ගම්පොලවෙල ග්‍රාම නිලධාරි කෝට්ඨාශයේ නිල්මිණි ප්‍රියදර්ශනී මහත්මිය වෙනුවෙන් ඉදි කල නව නිවස ඇයගේ පවුලට භාර දීම ද මෙදින අමාත්‍යවරයා අතින් සිදු විය.