කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මුඛ ආවරණය නිතරම පැලදීම වැදගත් බව කොවිඩ් ආසාදිත අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යාවරයා එම ඉල්ලීම කර ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, තමා නිල රථයේදී මුඛ ආවරණය ඉවත්කරන බවත් ඒ වන විට කොවිඩ් ආසාදිත බව නොදැන සිටි රියදුරෙකු තමාගේ රථය ධාවනය කර ඇති බවත්ය.
තමා විසින් මුහුණු ආවරණය නොමැතිව එම අවස්ථාවේ දී ගමන් කරනු ලැබීම හේතුවෙන් එලෙස තමාට කොවිඩ් වෛරසය ආසාදනයවන්නට ඇති බව තමන් සිතන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් තබා ඇති ෆේස්බුක් සටහන…
“රට තුළ හදිසි තත්වයක් පවත්නා මොහොතක මහජන නියෝජිතයෙකු වන මා හට රාජකාරිවලින් මිදිය නොහැකි වනවා මෙන්ම මාගේ නිලධාරීන් හා සමීපතමයන් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට ද සිදුව ඇති අවස්ථාවක දී සැමගේ ආරක්ෂාව පිණිස මාගේ රාජකාරි කටයුතු අද දිනද Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරන්නෙමි. මෙහිදී මා හා පසුගිය දින කිහිපය පුරාවටම සමීපව රාජකාරී ඉටුකළ සෑම දෙනාටම ස්වයං නිරෝධායනයට ලක් වෙමින්, පහසු පරිදි සිය රාජකාරිය මාර්ගගත ඉටුකිරීමටද මා විසින් උපදෙස් ලබාදුන් අතර මොහොතකට හෝ රාජකාරියෙන් බැහැරවීම, රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අහිතකර බලපෑම් කළ හැකි කරුණක් බව පැහැදිලිව පෙනෙන බැවින් මාගේ වගකීම ආරක්ෂිතව ඉටුකරමි. එසේම, ඔබ වෙත ලබා දිය යුතු එකම උපදෙස් වශයෙන් මා දකිනුයේ ඔබ මුව ආවරණය කිසිසේත්ම ඉවත් කළ යුතු නොවන බවයි. මන්ද යත්, මෙතෙක් කාලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිෂ්පාදිත මුහුණු ආවරණය පැලඳ සිටි මා ආසාදිත යැයි තහවුරු වූ බොහෝදෙනා අතර නිරෝගීව සිටි අවස්ථා බහුලය. නමුත් මාගේ නිල රථයේදී මා විසින් මුහුණු ආවරණය ඉවත් කරනු ලැබීමි. ඒ වන විටත් වෛරසය ආසාදිතව සිටි බව නොදත් රියැදුරු මහතෙකු මාගේ රථය ධාවනය කළ අවස්ථාවකදී, මා විසින් මුහුණු ආවරණය නොමැතිව ගමන් කරනු ලැබීම හේතුවෙන් මෙසේ මා ද ආසාදිත වී ඇති බව විශ්වාස කරමි. එබැවින් මොහොතකට හෝ ඔබව සුරක්ෂිත කෙරෙන මුහුණු ආවරණය ඉවත් නොකරන්න. “