Ada-Derana-1140-X-60-S 1200 add-02

පුංචි ජන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

26
11453136468821839297
add-01
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළා.
මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෛ රාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියා. ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියම කළා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිමක් නොකරන බව දන්වා ඇති බවයි.
ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන්ට පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා.
මේ අතර අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, එරංග ගුණසේකර, පැෆරල් සංවිධානය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් ද නීතිඥවරු පෙනී සිටියා.
පෙත්සම්කරු කියා සිටින්නේ වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බවයි.
එබැවින් එම මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.