Ada-Derana-1140-X-60-S 1200 add-02

වරාය කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13ක් චීනයට..

228
11453136468821839297
add-01

වරාය අධිකාරිය සතු රුපියල් කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13ක් සේවා සැපයුම් මධ්‍යස්ථානයක් (ගුදම් සංකීර්ණයක්) පිහිටුවීම සඳහා විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව චීන සමාගමකට පැවරීමට තීන්දු කිරීම බරපතළ වංචා සහගත කටයුත්තක් බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා කීය.

කොළඹ පෝට්සිටි ඉඩම් සංකීර්ණයටත් වඩා වාණිජ වටිනාකමක් ඇති මෙම ඉඩම අදාළ චීන සමාගමට පැවරීමට යන්නේ අක්කරයක් වසරකට රුපියල් අට ලක්ෂ පනස් දහසක් වැනි සොච්චම් මුදලකටය. තමන්ගේ දැනීමේ හැටියට මෙම ප්‍රදේශයේ පර්චසයක වටිනාකම රුපියල් කෝටි 30 ඉක්මවා ඇතැයිද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

වසර 2005 දී ටෝකියෝ සිමෙන්ති සමාගමට මේ ආකාරයටම වරායේ ඉඩමක් පවරා දී ඇති අතර එහි අක්කර 1යි පර්චස් 11ක් වෙනුවෙන් අදාළ සමාගම එදා ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 30කි. එය රුපියල් අට ලක්ෂ පනස් දහස දක්වා අද වන විට අඩුවීම මෙම වංචනික ගනුදෙනුවේ ස්වභාවය පෙන්වා දෙන බවද නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේය.
මෙලෙස වරාය සතු ඉඩමක් කුණුකොල්ලයට විදේශ සමාගමකට පැවරීමෙන් වරාය සේවකයන් 650කගේ පමණ රැකියා අවදානමට ලක්වන බව ඔහු කීය.

රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් විධිමත් තක්සේරු වාර්තාවක් පවා ලබා නොගෙන අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වා මෙම ව්‍යාපෘතිය අනුමත කරගෙන ඇති බව ප්‍රකාශ කළ හෙතෙම තිස් පස් වසරක් සඳහා මෙම ඉඩම බදු දීමෙන් ලැබෙන රුපියල් කෝටි 280ක මුදල එම පරිශ්‍රයේ දැනට කෙරෙන සේවාවලින් වසරක් තුළ උපයන බවද පැවසුවේය. ඒ නිසා මෙම වංචනික ගනුදෙනුව වැළැක්වීම පිණිස ඉදිරියේදී වරායේ සියලු වෘත්තීය සංගම් එක්ව දැඩි සටනක් දියත් කරන බවද ඔහු අවසන් වශයෙන් අවධාරණය කළේය.