මෑතකදී මෙරටින් වාර්තා වූ සුළු මට්ටමේ භූ කම්පන බහුතරයකට හේතුවී ඇත්තේ මධ්‍යම කඳුකරයේ ඉදිකර ඇති මහාපරිමාණ ජලාශ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
අතුල සේනාරත්න මහතා සඳහන් කරන්නේ, වික්ටෝරියා සහ රන්දෙණිගල ප්‍රදේශ ආශ්‍රිතව භූ අභ්‍යන්තරයේ පැලුම්තල කිහිපයක් හඳුනාගෙන ඇති බවය.
ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික ආපදා නිරන්තරයෙන් මෙරටින් වාර්තා වුවත් භූ චලන පිළිබඳව අසන්නට ලැබුනේ ඉතා කලාතුරකිනි.
නමුත් මෑත කාලයේදී එවැන් භූ කම්පන පිළිබඳ සිදුවීම් රැසක් මෙරට විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබුණි.
එහි ආසන්නතම සිදුවීම වාර්තා වුයේ පසුගිය 25 වැනිදා රාත්‍රී 9.20ට පමණ ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙනි.
එය රිච්ටර් මාපක 2.5ක ප්‍රබලත්වයෙන් යුතුව සටහන්ව තිබුණි.
ඊට අමතරව පසුගිය ජනවාරි 31 වැනිදා නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රීතව රිච්ටර් මාපකයේ ඒකක 2 ක්ව සටහන් වූ භූ කම්පනයක්, පසුගිය ජුනි 16 වැනිදා වික්ටෝරියා වේල්ලට මදක් පහළින් පිහිටි කුමාරිගම ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 1.94 ක භූ කම්පනයක් ද වාර්තා විය.
දිවයින ආශ්‍රිතව මෑතකදී මෙවැනි භූ කම්පන රැසක් වාර්තාවීමට හේතුව කුමක්ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලය භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ,
“ලංකාව හරහා ගමන් කරන විශාල පැළුම්තල තියෙනවා. පොළොව එසවීම නිසා ඒ පැළුම්තල හරහා ඇතිවෙනවා සුළු කම්පන. උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාවේ තියෙනවා ප්‍රධාන පැළුම්තල කිහිපයක්. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන. හඳුනාගෙන තියෙනවා වික්ටෝරියා විශාල පැළුම්තලය කියලා එකක්. රන්දෙණිගල හරහා ගමන් කරන විශාල පැළුම්තලයක් තියෙනවා. පොළව එසවෙනවත් එක්කම මේවා චලනය වෙනවා. මේ චලනය වෙනකොට ඇතිවෙන බාධා මගහරවන අවස්ථාවලදී තමයි කුඩා කම්පන ඇතිවෙන්නේ. ජලාශ පිරවෙනකොට ඇතිවෙන විශාල බරත් එක්ක පාෂාණ තට්ටු විශාල තෙරපීමකට ලක්වෙනවා. ඒවා දරාගෙන ඉන්න සීමාවල් ඉක්මවා ගිය අවස්ථාවලදී ප්‍රදේශ හරහා ගමන් කරන පැළුම් ඇතිවෙන්න පුළුවන්. ඒත් සමග කම්පනත් ඇති වෙනවා.”
මෙලෙස සුළු භූ කම්පන රැසක් වාර්තාවීම විශාල අනතුරක පෙර නිමිත්තක් ලෙස ඇතමුන් අදහස් දක්වා තිබුණි.
භූ විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය සඳහන් කළේ,
“ලංකාව තුළ සිදුවී තිබෙන භූ චලන ගැන අධ්‍යයන කිරීමේදී අපිට පේනවා භූ චලන වැඩිපුර සිදුවූ ප්‍රදේශ ගැන. මේ පිළිබඳව බිය වියයුතු නෑ. නමුත් මේ පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා.”