ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් “මධ්‍යගත කණ්ඩායම” ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වැඩී ඡන්දයෙන් අද (23) සම්මත විය.
එහිදි එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය භාවිත කළ අතර සහ ඊට විරුද්ධව රටවල් 11 ක් ඡන්දය භාවිත කළහ.
මෙම ඡන්ද විමසීමේදී චීනය ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කළ අතර ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය.
මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාරක තහනම ඇතුළු සම්බාධක එම වාර්තාව මගින් නිර්දේශකර තිබේ.
ඊට අමතරව රාජ්‍ය යාන්ත්‍රණයට විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරතකරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂන විධිවිධාන ඉවත්කිරීම, කෝවිඩ් – 19 වසංගතයෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීමේ දි මානව හිමිකම් සීමා කිරීම මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ඇතුළත් තවත් කරුණු කිහිපයකි.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාවක් මෙවර එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය එක්සත් රාජධානීය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ගෙන එනු ලැබීය.
ඡන්ද විමසීමට පෙර ශ්‍රී ලංකාව ගැන ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විවිධ නියෝජිතවරු අදහස් දැක්වූහ.
එහිදී ඉන්දීය නියෝජිතයා පැවසුවේ සංහිඳියාව සම්බන්ධ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම, දෙමළ ජනතාවගේ ගැටලු නිරාකරණය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව උනන්දු කරන බවය.
එසේම සියලු ම ජනතාවගේ මූලික නිදහස සහ මානුෂික අයිතිවාසිකම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බව ට ඔවුන් බලාපොරොත්තු වන බව ඉන්දීය නියෝජිතයා පැවසීය.
එසේම හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වනු ඇතැයි ද ඔහු පැවසීය.