චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් අද අලුයම දිවයිනට ළඟා වුණා.
චීනයේ බීජිං සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 869 ගුවන් යානයෙන් අද අලුයම 5.10 ට පමණ එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා.
අද රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාර දුන්නා.
මේ අතර, සයිනොෆාම් එන්නත ලබා ගත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථානය, දිනය සහ වේලාව කෙටි පණිවුඩයක් මගින් දන්වන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුනි ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව, කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල එන්නත් කිරීමේ කටයුතු ද අනිද්දා සිට ආරම්භ කරන බවයි.
දිවයින පුරාම සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අනිද්දා සිට ද ආරම්භ කෙරෙනවා.
මේ වන විට මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 353,156 දෙනෙකුට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 953,480 දෙනෙකුට ලබාදී අවසන්.
ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව මෙතෙක් ලබා දී ඇති පුද්ගලයින් ගණන 64,986ක්.
එසේම ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේ තහවුරු කළ මරණ 40 අතරින් එක් මරණයක් සිදුව ඇත්තේ ඊයේ දිනයේ වන අතර සෙසු මරණ 39 සිදුව ඇත්තේ පසුගිය මැයි 21 සිට ජුනි 04 දක්වා කාලය තුළදීයි.
ඒ අතර පිරිමි පුද්ගලයින් 23ක් සහ කාන්තාවන් 17 දෙනෙකු වන අතර මරණ 09ක්ම නිවෙස් තුළදී සිදුව තිබෙනවා.
ඊයේ වාර්තා වූ මරණ 40 සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,696ක් දක්වා ඉහළ ගියා.
ගතවූ දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3,103 දෙනා සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 202,357ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වාර්තා වූ ආසාදිතයින් අතරින් 09දෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 3,094දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින්.
ඒ අනුව පසුගිය අප්‍රේල් 15 වැනිදායින් පසු නිර්මාණය වූ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන මේ වනවිට දැක්වෙන්නේ 105,026ක් ලෙසයි.
ගෙවුණු දිනයේ හඳුනා ගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 828 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
ඒ අතරින් 170 දෙනෙකුම හදුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544 දෙනෙක් වාර්තා වූ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 255 දෙනෙක් මෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 224ක් වාර්තා වුණා.
කළුතර, මහනුවර, ගාල්ල, අම්පාර, මඩකලපුව සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින්ද 100 ඉක්මවා ආසාදිතයින් වාර්තා වී තිබුණා.
මේ අතර, ආරච්චිකට්ටුව පොලීස් ස්ථානයේ නිලධාරීන් 05 දෙනෙකුට කොවිඩ් ආසදිත බව හඳුනා ගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා සෞඛ්‍ය අංශ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම, නුවරඑළිය නානුඔය රඳැල්ල ක්‍රීඩාංගණයට යාබදව හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රෝබෙරි වගා ගොවිපොලක නිලධාරීන් සහ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 995 දෙනෙකු ගතවූ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වසා දැමුණු යාල වනෝද්‍යානය ලබන 8 වනදා ප්‍රංශ නාවික හමුදාවේ කණ්ඩායමක් සඳහා විවෘත වන බව වනජිවි දෙපාර්තමේන්තුව සඳහන් කළා.