Ada-Derana-1140-X-60-S 1200 add-02

පුද්ගලයෙකුට ගිනි තැබූ සැකකරුවෙක් සොයයි

175
11453136468821839297
add-01

කෝටි ගණනක ණය මුදලකින් බේරීමේ අරමුණින් තමන් ගිනි තබාගෙන සියදිවි නසා ගත් බව හැඟවීමට වෙනත් පුද්ගලයෙකු ඝාතනය කර පුළුස්සා දමා සැඟවී සිටින අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු කුරුණෑගල ශික්ෂණ රෝහල ඇතුළු ආයතන ගණනාවකට ආහාර ද්‍රව්‍ය සැපයීමේ උප  කොන්ත්‍රාත්තුවක් බාරව සිටි අයෙකු බව පොලීසිය සඳහන් කරයි. බණ්ඩාරනායක මුදියාන්සේලාගේ ප්‍රසන්න ජයරුවන් නමැති සැකකරු විවාහක 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය කියයි.

මෙම සැකකරු අංක 29, ගැමුණුපුර ඇතිමලේ මොනරාගල සහ ශ්‍රාවස්තිපුර, අනුරාධපුර යන ලිපින දෙකෙහිම පදිංචි  අයෙකු බවද පොලීසිය සඳහන් කරයි.

ඉකුත් පෙබරවාරි මස 03 වන දින කුරුණෑගල පොලිස් වසමට අයත් ගල්වල පාර අංක 19 දරන නිවසෙහි ඉදිරිපස කොටසේ සැක කටයුතු ආකාරයට පුද්ගලයෙකු ගින්නෙන් දැවෙමින් මරණයට පත්ව තිබෙන බවට කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරු වලට අනුව එසේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.

අධිකරණ නියෝගයකට අනුව ගින්නෙන් දැවී මියගොස් හඳුනාගත නොහැකිව සිටින පුද්ගලයා  කවරෙක්දැයි දැන ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයට ලක් කිරීමට කොළඹ ජාතික රෝහලේ මානව විද්‍යා අංශයට යොමු කිරීමෙන් අනතුරුව මිය ගොස් සිටින්නේ සැකකාර කොන්ත්‍රාත්කරු නොව වෙනත් අයෙකු බව මේවනවිට අනාවරණය වී ඇත.

මෙම අපරාධය සිදු කළ සැකකරු එම සිද්ධියෙන් පසුව කුරුණෑගලින් පලා ගොස් සැඟව සිටින බව පොලීසිය කියයි.

මෙම සැකකරු කුරුණෑගල ශික්ෂණ රෝහල ඇතුළු තවත් ආයතන ගණනාවකටම ආහාර ද්‍රව්‍ය සැපයීමේ උප කොන්ත්‍රාත්තුවක් බාරව සිටින අයෙකු වන අතර ඔහු ඒ සඳහා කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන රැසකින්ම ණයට රුපියල් කෝටි ගණනින් විවිධ ආහාර ද්‍රව්‍ය ලබාගෙන ඇති බවද මෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු අවශ්‍ය මුදල් ගෙවා ඇතත් සැකකරු එම මුදල් ව්‍යාපාරික ස්ථාන වලට නොගෙවා තම පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා වැය කර ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

එසේ වැය කළ මුදල් ආපසු ලබා දීමට නොහැකිව කළකිරී සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කරගත් බව පෙන්වීම සඳහා සැකකරු තමන් යටතේ සේවය කළ ගල්ගමුව බෝගස්වැව පදිංචිව සිටි තරුණයෙකු ඝාතනය කර ගිනි තබා පුළුස්සා දමා කුලී නිවසින් පලා ගොස් ඇති බව අනාවරණය කරගෙන තිබේ. සැකකරු මේ සඳහා තමන් යටතේ සේවය කළ තවත් දමිළ තරුණයෙකු සහායද ලබාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මහනුවර ගලහා ප්‍රදේශයේ පදිංචි දමිළ ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේවනවිට රිමාන්ඩ් භාරයට පත් කර සිටියි.

මෙම අපරාධය සිදු කිරීමෙන් අනතුරුව අතුරුදහන්ව සිටින සැකකරු සොයා ඔහු රැඳී සිටින බව කියන ස්ථාන රැසක් හදිසි සෝදිසියකට ලක් කළද ඔහු එම ස්ථාන සියල්ලෙන්ම පලා ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එච්.එම්.පුෂ්පලාල් මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනේ සියළුම පොලිස් ස්ථාන වලට දැනුම්දී සැකකරුගේ ජායාරූපයක් පවා ප්‍රසිද්ධ කර තිබෙන බවද පුෂ්පලාල් මහතා සඳහන් කළේය.