Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉන්දියානු කොරෝනා ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ ආර්ථිකය විවෘත කිරීමට හරස් වන ලකුණු

178
11453136468821839297
add-01

බ්‍රිතාන්‍යය තුල ඉන්දියානු කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය දෙවන සතියටත් දෙගුණවීම හේතුවෙන් එරට ආර්ථිකය යළි මුළුමනින්ම විවෘත කිරීමේ සැලසුම් අභියෝගයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

බී – 01 – 617 – 02 ලෙස හඳුන්වන ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් 3424 දෙනෙකු මේ සතිය තුල බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති අතර, පසුගිය සතියේ එලෙස හඳුනාගත් සංඛ්‍යාව 1313ක්.

ඊට සතියකට පෙර බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇත්තේ ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් 520 දෙනෙකු පමණයි.

මෙලෙස ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයෙන් සොයා ගැණුනු කොරෝනා ප්‍රභේදයට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි අනාවරණ වී ඇත්තේ.

බ්‍රිතාන්‍යය පසුගිය ජනවාරි මාසයේ වසා දැමුණේ කෙන්ට් කොරෝනා විකෘති ප්‍රභේදය හේතුවෙන්.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අනතුරු අඟවා සිටියේ ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය ලබන 21 වනදා සිට බ්‍රිතාන්‍ය ආර්ථිකය මුළුමනින්ම විවෘත කිරීමේ සැලසුම්වලට බලපෑ හැකි බවයි.

එමෙන්ම, කොරෝනා එන්නත් සම්බන්ධයෙන් ඇමෙරිකානු ෆයිසර් සමාගම සහ ඉන්දියාව අතර මත ගැටුමක් හට ගෙන තිබෙනවා.

ඒ ෆයිසර් සමාගම විසින් තම එන්නතෙහි අතුරු ප්‍රතිවිපාකවලට වග නොකියන බවට වන ගිවිසුමට අත්සන් තැබීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

තම රට තුල එන්නත්කරණ වැඩසටහනට අවශ්‍ය ප්‍රමාණවත් කොරෝනා එන්නත් නොමැතිවීම නිසා, ඉන්දියාව මේ වනවිට ඇමෙරිකානු ෆයිසර්,මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් නිෂ්පාදන සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන්.

මේ අතර කොවිඩ් 19 මර්දනයට 99.9%ක් ඵලදායි ප්‍රතිවෛරසක් සොයාගැනීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් සහ අමෙරිකානු විද්‍යාඥයින් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් මෙම පරීක්ෂණ සිදුකර තිබුණේ කොවිඩ් 19 ආසාදිත මීයන් යොදාගනිමින්.

ප්‍රතිවෛරස භාවිතයෙන් කොවිඩ් 19 මර්දනයට මෙම ක්‍රමවේදය ඔස්සේ හැකියාව පවතින අතර, එය 99.9%ක් ඵලදායී බවටයි සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

මෙම ප්‍රතිවෛරස් ක්‍රමවේදයේදී සිදුවන්නේ ජානමය වශයෙන් වෛරසය හඹාගොස් එය විනාශකර දැමීමයි.

එහිදී මිසයිලයක් ඉලක්කය වෙත හඹාගොස් එය විනාශ කරන ආකාරයට සමාන වේගයෙන් කොවිඩ් 19 වෛරසයද ප්‍රතිවෛරසය විසින් හඹාගොස් ක්ෂණිකව විනාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ක්‍රමවේදය භාවිතයේදී විකෘති වෛරස බිහිවීමේ අවදානමක්ද මතුවන්නේ නැහැ.

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ සියලු‍ සායනික අත්හදා බැලීම්වලින් අනතුරුව 2023 වසර වනවිට මෙම ප්‍රතිකාර ක්‍රමවේදය භාවිතයට ගැනීමට හැකිවනු ඇති බවයි.