දුමිත් ප්‍රනාන්දු CSE සභාපති ධුරයෙන් ඉවත් වෙයි නව සභාපති ලෙස දිල්ෂාන් වීරසේකර නම් වෙයි May 20, 2022 43 කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) හි සභාපතිවරයා ලෙස කටයුතු කරන දුමිත් ප්‍රනාන්දු මහතා ලබන ජූනි 23 වැනිදා සිට එම ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව පවසයි. ඒ මහතා 2020 ජූලි 01 වැනිදා සිට කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. මෙලෙස ධුරයෙන් ඉවත්ව යන සභාපතිවරයා වෙනුවට නව සභාපතිවරයා ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන දිල්ෂාන් වීරසේකර මහතා නම් කිරිමට තීරණය වී තිබේ. ඊයේ (19දා) පැවැති කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්යක්ෂ මණ්ඩල මාසික හමුවේදී මෙම තෝරා ගැනීම සිදු කරගෙන තිබේ. ඒ අනුව ලබන ජූනි 24 වැනිදා සිට බලාත්මක වන පරිදි දිල්ෂාන් වීරසේකර මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි. ඒ මහතා මේ වනවිට ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කරයි. මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ක්‍රමවේදය අනුව එහි සභාපතිවරයා සඳහා අයෙකු තෝරා ගැනීමට එහි තේරීපත්ව සිටින අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස් දෙනා අතරින් සිදු වෙයි. ඒ අනුව වීරසේකර මහතා පත් කරගැනීමට කොළඹ කොටස් හුවමාරුවෙහි සාමාන්‍ය අධ්යක්ෂ මණ්ඩල පත්කිරීම් ක්‍රමවේදය අනුව සිදු කෙරී ඇතැයිද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.