වැඩියෙන් ගෙව්වත් ඩොලර් එවීම අඩුවෙලා

24
Ada-Derana-1140-X-60-S 11453136468821839297

අප්‍රේල් මාසයේ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණවල අඩුවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2022 අප්‍රේල් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 248.9 ක් ලෙසින් සටහන්ව ඇත.

කෙසේ වෙතත් 2022 මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 318.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබිය දී අප්‍රේල් මාසයේ දී අදාළ වටිනාකම මෙලෙස පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව 2021 මැයි 13 දින සිට ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය අනුගමනය කිරීමට පියවර ගැනුණි. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 203 මට්ටමේ පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරනු ලැබූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට බැංකු පද්ධතිය හරහා ලැබෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණයෙහි කැපී පෙනෙන පහළ යාමක් නිරීක්ෂණය කළ හැකිවිය. එතෙක් ශ්‍රී ලංකාවට මාසිකව ගලා ආ ඩොලර් මිලියන 500 ක් පමණ වූ විදේස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2022 පෙබරවාරි වන විට ඩොලර් මිලියන 204.90 ක් තරම් පහළ මට්ටමකට ඇද වැටී තිබුණේ එම අවිචාර තීරණයේ ප්‍රතිඵලයක් වශයෙනි. මීට මූලික හේතුව වූයේ විදෙස්ගත ශ්‍රමිකයන්ට ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් ප්‍රේෂණය කරනවාට වඩා වැඩි මිලක් උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් ක්‍රම ඔස්සේ එවීමෙන් ලබා ගැනීමට අවස්ථාව ‌හිමි වීමයි.

කෙසේවෙතත් 2022 මාර්තු 08 දින සිට විදෙස් මුදල් ඒකකවලට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අගය පාවෙන්නට හැරීමත් සමඟම අද වන විට ඩොලරයේ විකුණුම් මිල රු. 364 ක පමණ අගයක් වටා ස්ථාවර කර ගන්නට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට වෙර දරමින් සිටී.

මේ තත්ත්වය තුළ වෙනදාට වඩා වැඩි මිලක් විදෙස් ප්‍රේෂණ සඳහා ලබා ගත හැකි වුවද අප්‍රේල් මාසයේ දී එම අගය තිබුණු මට්ටමටත් වඩා පහළට වැටී තිබීම විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් වේ.

2021 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 518.8 ක විදේශ විනිමය ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබුණු අතර එය 2022 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 248.9 ක් දක්වා 52%කින් පහළ ගොස් ඇත.

මේ අනුව 2022 වසරේ මුල් මාස 04 තුළ දී ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,031.5 ක් වන අතර එය 2021 වසරේ මුල් මාස 04 තුළ ලැබී තිබුණු ඩොලර් මිලියන 2,385.8 හා සැසඳීමේ දී 56.8% ක අඩුවීමකි.