දේශබන්දුට පොලිස්පති දුන් ලිඛිත උපදෙස අධිකරණයේදී එළියට

60
Ada-Derana-1140-X-60-S 11453136468821839297

ගාලුමුවදොර සහ කොල්ලුපිටිය අරගල භූමි ආශ්‍රීතව ඇතිවිය හැකි ගැටුම් වළක්වා ගැනීම සඳහා පොලිස්පතිවරයා සිද්ධියට පෙරදින ලිඛිතව දුන් උපදෙස් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ක්‍රියාත්මක කර නැතැයි නීතිපතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළේය.

ඒ අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙතෙක් සිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දී නැති බව ද අද මෙහිදී අනාවරණ වුණි.

මේ අතර අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අවස්ථාවේ අධිකරණය අසල රැඳී සිටි අරගලකරුවන් පිරිසක් ඔවුන්ට විරෝධය දැක්වීය.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් 08 දෙනෙකු අද  හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසය.

අනතුරුව අරගලකරුවන් පිරිසක් අධිකරණ භූමිය අසල විරෝධතාවයක නිරත වුණි.

මේ අතර හඳුනාගැනීමේ පෙරට්ටුවට බව පවසමින් පිරිසක් අධිකරණ භූමියට ඇතුළුවීමට උත්සාහා කළ අවස්ථාවේදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

අනතුරුව අද පස්වරුවේ නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නඩුවට අදාළ ලබාදී ඇති විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය විශේෂ කරුණු දැක්වීමක් සිදුකළේය.

“ස්වාමීනි, ඔබතුමන්ගේ අධිකරණයෙන් මෙම සිදුවීමට අදාළව මෙතෙක් සිදුකර ඇති විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් මම විශේෂ කරුණු දැක්වීමක් සිදුකරන්නට කැමැතියි. ඒ අනුව ස්වාමීනි, විදෙස් ගමන් තහනමකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහින්ද කහඳගම ඇතුළු පිරිසක් මෙතෙක් අධිකරණයට සිය විදේශ ගමන් බලපත්‍ර භාරදීමට කටයුතු කර නැහැ. පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් සිය විදේශ ගමන් බලපත්‍ර භාරදී තිබෙනවා. ඒ වගේම ස්වාමීනි, සැකකාර සනත් නිශාන්තගේ විදේශ ගමන් බලපත්‍රය නඩු කටයුත්තක් සම්බන්ධයෙන් වෙනත් අධිකරණයකට භාරදී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රේණුක පෙරේරා යන අය සිය විදේශ ගමන් බලපත්‍ර විනාශ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. “

මෙහිදී අධිකරණය හමුවේ සුවිශේෂී කරුණු දැක්වීමක් සිදුකළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ මැයි 09 වැනිදා අරගල භූමිවලට මෙම ප්‍රහාරය එල්ල වීමට පෙර දිනයේ පොලිස්පතිවරයා මෙම සිදුවීම වළක්වාගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලිඛිතව උපදෙස් ලබාදී ඇති බව අවධාරණය කළේය.

“ස්වාමීනි, ප්‍රශ්නගත සිදුවීමට පෙර මැයි මස 08 වැනිදා පොලිස්පතිවරයාට බුද්ධි තොරතුරක් ලැබිලා තියෙනවා මැයි 09 වැනිදා “ජනවරමට පිටුනොපානු” යනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත රැස්වීමක් සහ පෙළපාලියක් ගැන. පොලිස්පතිවරයා එහි පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත යොමු කරමින් ලිඛිතව උපදෙස් දී තිබෙනවා එම පෙළපාලිය ගාලුමුවදොර දෙසට ගමන් කිරීමේදී ගැටුම් ඇතිවෙන්න පුළුවන් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරන්න සුදුසු පියවර ගන්න කියලා.”

එමෙන්ම මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමට අදාළ සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පියවර ගනු ලැබීය.

“ස්වාමීනි, අරලියගහ මන්දිරයේ පැවැති ප්‍රශ්නගත රැස්වීමේ සුවිශේෂී හඬක් හඳුනාගත යුතුව තිබෙනවා. එහිදී නිවේදකයෙකු පවසනවා මාතෘ භූමියට හදවතින්ම ආදරය කළ 5 වැනි විධායක ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතුයි දැන් ඔබ මෙතනින් එළියට ගමන් කරලා පල්ලිය ළඟින් දකුණට හැරිලා ප්‍රධාන ගාලුපාර දිගේ ගෝල්ෆේස් ක්‍රීඩාංගණයට යන්න. අපේ ශක්තිය අපි පෙන්වමු. අපේ නායකයා ආරක්ෂා කරගනිමු. කියලා. ස්වාමීනි, මෙම හඬ හඳුනාගැනීම සම්බන්ධයෙන් එදින නිවේදන කටයුතු කළ වසන්ත කුමාර, ලලිත් මධුමාල් යන අයගේ කටහඬ ආදේශක ලබාගැනීමට අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත යොමුකරන ලෙස මම නියෝගයක් ඉල්ලා සිටිනවා.”

අනතුරුව අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වා සිටියහ.

“ස්වාමීනි, අරලියගහ මන්දිරයේ රැස්වීමේදී නිවේදකයෙකු පමණක් නොවෙයි ප්‍රචණ්ඩත්වයට පොළඹවන අන්දමින් කතා පවත්වා තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැමිණි පුද්ගලයින් උසිගන්වන අන්දමින් කතාවක් පවත්වා තිබෙනවා. ඔහු මෙසේ පවසනවා. හිටපු අගමැතිතුමාට නින්දා අපහාස කරනවා, අරලියගහ මන්දිරය ළඟම මයිනා ගෝ ගම නමින් ගමක් අරඹලා. ජනාධිපතිවරයාට බැරිනම් අපි ඒක සුද්ද කරන්නම් කියලා. එබැවින් ස්වාමීනි සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි ඉදිරිපත් වී ඇති බැවින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත යුතුයි.”

එමෙන්ම මෙහිදී ජනාධිපති නීතිඥ සනත් ජයමාන්න මහතා ද අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් කරුණු දැක්විය.

“ස්වාමීනි, පොලිස් ආඥා පනතේ පැහැදිලිවම සඳහන් වනවා 12 දෙනෙකුට වඩා සිටින අයුතු ජනරාශියක් විසුරුවා හරින්න උප පොලිස් පරික්ෂකවරයෙකුටත් බලතල තියෙනවා කියලා. එහෙම තියෙද්දි එම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙය විසුරුවා හැරීමට කටයුතු කර නැත්තේ ස්වාමීනි ගින්දරයි පුළුනුයි එකට යන්නේ නැහැ. අප දැනගත යුතුයි දේශබන්දු තෙන්නකෝන් ගිනියි පුළුනුයි එකතු කළේ කාගේ ආශිර්වාදය මතද කියලා. මොකද ස්වාමීනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයන්නේ නැති පැතිකඩක් තියෙනවා.්‍
පොලිස්පතිවරයා 08 වැනිදා උපදෙස් දුන්නාට පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන් යටතේ සිටි උසස් නිලධාරීන්ට zoom රැස්වීමක් පවත්වා තිබෙනවා. ඒකෙදී පැහැදිලිවම උපදෙස් දීලා තියෙනවා ඔය පෙළපාලිය විසුරුවන්න එපා. ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්න එපා කියලා. එබැවින් ස්වාමීනි සාධාරණ සැකයෙන් කරුණු තියෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට නොගන්නේ.

මෙහිදී විවෘත අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කවර මතයක් දරන්නේද යන්නය.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාඒතමේන්තුවෙ නිලධාරීන් කියා සිටියේ පෙළපාලිය වැළැක්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි විධානයක් දී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බැවින් ඔහු සාක්ෂිකරුවෙක්ද සැකකාරයෙකුද යන්න තමන්ට ප්‍රශ්නගත වී ඇති බවය.

එම පිළිතුරත් සමග තමන් හමුවේ තිබූ සනත් නිශාන්ත සහ දේශබන්දු තෙන්නකෝන් අරගල භූමියේ යම් සාකච්ඡාවක නිරත වන ඡායාරූපය ගෙන හැර දැක්වූ මහේස්ත්‍රාත්වරයා මෙසේ සඳහන් කළේය.

“මේ ඡායාරූපයෙන් පේන්නේ සැකකාර සනත් නිශාන්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දෙන අවස්ථාවක්ද? මටනම් මේක පේන්නේ බොහොම කුළුපගු සාකච්ඡාවක් කියලයි.”

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ මෙම නඩුවට අදාළ සාක්ෂි බහුතරයක් බස්නාහිර පළාත තුළම පවතින බැවින් ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනට දරණ තනතුරෙන් ස්ථාන මාරු කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවය.

එම උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරි දිනයේදීත් අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියේ සිද්ධියට සම්බන්ධ සෑම තැනැත්තෙකු සම්බන්ධයෙන්ම සමානව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට අදාළ නියෝග ලබාදීමට ඉදිරියේදී තමන් කටයුතු කරන බවය.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද තවත් සැකකරුවන් 06 දෙනෙකු මැයි 27 වැනිදා හඳුනාගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට ද, සැකකරුවන් 04 දෙනෙකු ඇප මත මුදාහැරීමට ද නියෝග කළේය.

මේ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

පොලිසිය සඳහන් කළේ,  පසුගිය 09 වැනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ කලහකාරී සිදුවීමේදී ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමින් සමාජ මාධ්‍ය ජාලාවල ඔහු පළ කළ වීඩියෝවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස කැඳවූ බවය.

ඒ අනුව ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ මාධ්‍යයට විවිධ ප්‍රකාශ සිදුකළත් , කැඳවීම් ලද ප්‍රකාශය ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුව තුළට නොගොස් සිටියේය.

අනතුරුව දර්ශන හඳුන්ගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා ඇත්තේ ඔහු කැඳවීමට අදාළ සිද්ධිය පිළිබඳ අපැහැදිලිතාවක් පවතින  බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව ඔහුට අනිද්දා දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතාගේ හෙට්ටිපොල පිහිටි කාර්යාලයට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු හෙට්ටිපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව ඔවුන් පොදුදේපල පනත යටතේ හෙට්ටිපොල මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 06 වැනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගතකර තිබේ.

පසුගිය 09 වැනිදා රාගම වැලිපිල්ලෑව ප්‍රෙද්ශයේදී , කොළඹ සිට ධාවනය කරමින් තිබූ බස්රථයකට පහර දී එහි අමතර කොටස් කොල්ල කෑම සම්බන්ධයෙන් එම ප්‍රෙද්ශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී කඩු 03ක්, යතුරුපැදි 02ක් සහ ත්‍රිරෝද රථ 03ක් සහ වාහන අංක තහඩු කිහිපයක්ද සොයාගෙන තිබේ.

මේ අතර පසුගිය 09 වැනිදා ගාලුමුවදොර අරගලයට පහර දීම සඳහා රැගෙන පැමිණි බවට සැකකෙරෙන වටරැක එළිමහන් සිර කඳවුරේ රැඳවියන් 08 දෙනෙකුගෙන් අද මානව හිමිකම් කොමිසම ප්‍රකාශ සටහන් කර ගත්තේය.