ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් “එපික් ලංකා” පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව අද (09) ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එලෙස ඇප මත මුදාහැරීමට නියෝග කෙරුණේ එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය “එපික් ලංකා” නැමැති පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාවය.
හරීන්ද්‍ර කල්පගේ නමැති මෙම සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව, අදාළ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට ද නියෝග කළාය.
එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටද සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පැනවිය.
පැමිණිල්ල නැවත ලබන 13 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින තෙක් විනාශයට ලක්වූ බව කියන දත්ත අඩංගු පරිගණක ගබඩාව යවත්කාලින කිරීමෙන් වළකින ලෙසත්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඖෂධ ලියාපදිංචිකිරීම සඳහා විවිධ සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වලට අදාළ ආධාරක ලේඛන ගබඩා කර තබන පරිගණක දත්ත ගබඩාව විනාශවීම සම්බන්ධයෙන් එම අධිකාරිය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළේය.
එම විනාශ කෙරුණු දත්ත ගබඩාවේ අන්තර්ගත දත්තවල වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බව පෙන්වා දුන් එම නිලධාරීන් අදාළ දත්ත මැකීයාම හේතුවෙන් ඖෂධ ලියාපදිංචි කිරීමේ කටයුතුවලට බාධා සිදුවී ඇතැයි පෙන්වා දුනි.
එම පරිගණක දත්ත පවත්වාගෙන යාමේ වගකීම ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ එම සැකකරු ප්‍රධානත්වය දරණ සමාගම වෙත පවරා තිබූ බවද පැවසීය.
ඒ අනුව අදාල අධිකාරිය සතු පරිගණක දත්ත ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාම සහ Back up පවත්වාගෙන යාමේ වගකීම එම සමාගම වෙත පැවරී තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
එහෙත් එම වගකීම ඉටු කිරීමට අදාළ සමාගම අසමත් වී ඇතැයි පෙන්වාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඒ තුළින් ඔහු සාපරාධී විශ්වාසය කඩකර තිබෙන බවත් ඒ අනුව පොදු දේපළ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් දැනුම් දුනි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවට ඇතුළත්වීමේ මුරපදය එම සමාගමේ පුද්ගලයින් හතර දෙනෙකු අත තිබී ඇතැයි පෙන්වාදුන් එම නිලධාරීන් මෙය සංකීර්ණ පරීක්ෂණ කටයුත්තක් බවත් විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධිය පිළිබඳව තම සේවාදායකයා තම සමාගම තුළ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ බව පැවසීය.
එම අභ්‍යන්තර පරීක්ෂණයේදී එම දත්ත ගබඩාව විනාශවී යාම පිළිබඳව වගකීම අදාළ සමාගමේ සේවය කළ ප්‍රමෝද් නැමති ඉංජිනේරුවරයෙකු විසින් භාරගෙන තිබූ බවත් ඔහුට එරෙහිව ආයතනික මට්ටමෙන් මේ වනවිට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තම සේවාදායකයා විසින් මේ බව ඉකුත් ජූලි මස 31 වනදා ලිඛිතව දන්වා තිබුණද ප්‍රමෝද් නැමැති ඉංජිනේරුවරයාගෙන් මේ දක්වා ප්‍රකාශයක් වත් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර නැතැයි ද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
මෙහිදී මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් එම දත්ත ගබඩාවට ප්‍රවේශවීමේ මුරපදය මෙම සැකකරු සන්තකයේ තිබී ඇත් දැයි පැවසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ එවැන්නක් පිළිබඳව විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැති බවය.
වැඩිදුරටත් මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්නයක් යොමු කරමින් කියා සිටියේ, ප්‍රශ්නගත දත්ත ගබඩාව විනාශ කිරීමේ සිද්ධියට එම සැකකරු සම්බන්ධ බවට සෘජු සාක්ෂි අනාවරණය වී තිබේ දැයි යනුවෙනි.
ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ අදාළ දත්ත ගබඩාව විනාශකිරීමට එම සැකකරු සම්බන්ධ බවට මෙතෙක් සෘජු සාක්ෂි අනාවරණය වී නොමැති බවය.
එහෙත් එම දත්ත ගබඩාව ආරක්ෂා කිරීමේ වගකීම එම සැකකරු වෙත පැවරී ඇති බවත් එම වගකීමෙන් ඔහුට බැහැරවිය නොහැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේය.
දෙපාර්ශ්වය විසින් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම සැකකරු දත්ත ගබඩාව විනාශ වූ පසු ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කරුණු අනාවරණය කරගැනීමට කටයුතු කර ඇති නිසාත්, මෙම දත්ත ගබඩාව විනාශ කිරීමේ කාර්යයට ඔහු සෘජුවම සම්බන්ධ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැතිවීම හේතුවෙන් සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව නියෝග කළේය.